දේශීය

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් ලිඛිත විරෝධතා

බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය​ගේ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත විරෝධතා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට අද (11) භාර දෙනු ලැබුවා.

ඒ, ඇය ගොනු කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බව විනිසුරුවරයා නියෝග කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18 කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මහත්මියට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.

එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇය මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button