දේශීය

ප්‍රසන්න රණතුංගගේ අභියාචනා පෙත්සම ගැන තීන්දුවක්

කොළඹ මහාධිකරණය විසින් තමන්ට එරෙහිව පනවා තිබෙන අත්හිටවූ සිරදඬුවම අහෝසි කර තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම අද (20) සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙසයි.

මෙම අභියාචනා පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්ද නම් කර තිබෙනවා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බව පවසන චෝදනාවට වරදකරු කෙරුණු ඒ මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර 05 කට අත්හිටුවීමට තීන්දු කළා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද නියම කෙරුණු අතර රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් කොළඹ මහාධිකරණය විසින් ප්‍රසන්න රණතුංග මහතාට නියම කර තිබුණා.

එම දඬුවම්වලින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button