විදෙස්
ජල ගැල්මෙන් පීඩාවට පත් වූ ලිබියාවට බෝම්බ අවදානමක්

ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්වයෙන් පසු බිම් බෝම්බ අවදානමක් මතුව තිබෙනවා.
ඒ වසර ගණනාවක් ලිබියාවේ පැවති ගැටුම්වලදී වළ දමා තිබූ බිම් බෝම්බ ජලයට ගසාගෙන ගොස් තැනින් තැන ඉතිරිවීම හේතුවෙන්.
එහිදී වාර්තා වන්නේ, 2011 වසරේ හිටපු ලිබියානු පාලක මුහම්මර් ගඩාෆි බලයෙන් ඉවත් කළ පසු ආරම්භවූ නේටෝ සංවිධානයේ සහයෙන් යුත් පාලනයට එරෙහිව විවිධ සංවිධාන කැරළි ගැසීම හේතුවෙන් වසර ගණනක් පුරා දරුණු ගැටුම් පැවති අතර එහිදී වළ දැමූ බිම් බෝම්බ ජල ගැල්මට හසුවී මතුපිටට පැමිණ ඇති බවයි.
සතියකට පෙර ලිබියාවේ ඇති වූ දරුණු ගං වතුර හේතුවෙන් ඩර්නා නගරයේ විසි දහසකට ආසන්න පිරිසක් මියගොස් ගොඩනැගිලි 891ක් විනාශ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ නිවාස අහිමි වූ දහස් ගණනක් එළිමහනේ දිවි ගෙවන අතර, අපිරිසිදු ජලය විෂ ශරීරගත වූ 150 දෙනෙකුද වාර්තාවී ඇති බවයි.