දේශීය

​අල්ටෙයාර් ගොඩනැගිල්ලෙ​න් වැටුන සිසුන් දෙදෙනාගේ දුරකතන වාර්තා ඉල්ලයි

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝග කළා.

විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මියගිය එම සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ ඉල්ලීමකට අවසර ලබා දෙමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවසර ඉල්ලමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කියා සිටියේ, මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිතුරෙකු මුණ ගැසීමට ගොස් ඇති බවත්, එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවයි.

එම පාකිස්තාන සිසුවාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ඔහුගේ නිවසට ගියත් එම සිසුවාගේ පියා පාකිස්තාන මහා කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියකු වූ නිසා එයට අවස්ථාවක් නොලැබුණු බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා වෙත දන්වා සිටියා.

එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා කියා සිටියේ, අදාළ පුද්ගලයාට තානාපති වරප්‍රසාද තිබේදැයි සොයා බලා තිබේ නම් අදාළ පනත අනුව කටයුතු කරන ලෙසයි.

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝභෝගී නිවාස සංකීර්ණයක වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇද වැටී දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය 3 වැනිදායි.

පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකු සහ සිසුවියක බවයි.

මෙම සිසුවිය සහා සිසුවාගේ සිරුරු තුන්වන මහලේ තිබී සොයාගෙන තිබු අතර, මියගිය සිසුවා සහ සිසුවිය වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල පදිංචිව සිටි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button