දේශීය

ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටී මියගිය සිසුන් දෙදෙනා ගැන තවත් තොරතුරු

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් සහ සිසුවෙකු සියදිවි නසා ගැනීම සම්බන්ධව තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

ඒ අනුව, මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවත්, ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවැති බවත්, පොලිස් පරීක්ෂණ වල​දී හෙළිව තිබෙනවා.

සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්​තේ ඊයේ (02) පාසල අවසන් වී ඔවුන් දෙදෙනා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර එහිදි ඔවුන් ඇඳුම් මාරු කර, පාවහන් ගලවා ඔවුන්ගේ බෑගයන්ද එම මධ්‍යස්ථානයේ තබා 67 වැනි මහළට ගොස් තිබෙන බවයි.

එහිදි ඔවුන් එම මහලට පිවිස ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේයි.

අනතුරුව ඔවුන් එම මහළෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇති බව​ට පොලීසිය සැක පළ කරනවා.

එම මහළින් පැන ඇති ඔවුන්ගේ සිරුරු හමුව ඇත්තේ මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදියි.

එම යන්ත්‍රවලට කැපී ඔවුන්ගේ සිරුරුවලට බරපතළ හානි සිදුව තිබෙනවා.

එමෙන්​ම මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button