ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ, කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවයි.
ඔහු ඒ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින්.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ. ඩො බිලියන 37ක් වන අතර, එයින් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීද විවිධ අදහස් පළ කෙරෙන නමුත් එම ඇතැම් කරුණු සත්‍යතාවයෙන් තොර බවයි.