දේශීය

ක්‍රිකට් නඩුවට අදාළ පෙත්සම සලකා බැලීම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

පෙත්සම පසුගිය 16වනදා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවු අවස්ථාවේ එය අද දින දක්වා කල්තබා තිබුණා.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද දිනය වන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිඥාවට අනුව එහි කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.

පෙත්සම් විභාගයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනුකළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අභියාචනාධිකරණය පසුගියදා පියවර ගෙන තිබුණා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම නඩු විභාගයෙන් ඉල්ලා අස්වු අතර අනතුරුව පෙත්සම විභාගය සඳහා පත්කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් පුද්ගලික හේතුවක් මත විනිසුරු ධම්මික ගනේපොල මහතාද ඉවත්වී තිබෙනවා.

ඒ අනුව පෙත්සම සලකා බැලීමට ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබූ නමුත් නීල් ඉද්දවෙල විනිසුරුවරයාද ඉන් ඉවත් වුණා.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button