ජනපතිගේ ආර්ථික වැඩපිළිවෙලට දකුණු කොරියාවේ සහාය

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා පවසනවා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදුකරන කැපවීමද පැසසුමට ලක් කළා.
දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, එසේම ශ්‍රී ලංකාවට අදාළව මේ වනවිට දකුණු කොරියාව ලබාදී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ තුළින් ඉදිරියේදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවයි.
දේශගුණික විපර්යාස අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කැපවීමද මෙහිදී අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කරගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිල හමුව නිව්යෝර්ක්හි එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදී ඊයේ (18) පැවැත්වුණා.
නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වුණේ, දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන සුහද කථාබහකින් අනතුරුවයි.
1978 වසරේ ආරම්භවූ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිහිපත් කළ නායකන් එම සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීම පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු වූ අතර දෙරට අතර අත්සන් තැබීමට නියමිත වෙළෙඳ ගිවිසුමට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.
දැනට ශ්‍රී ලංකික තරුණ තරුණියන් විශාල පිරිසක් දකුණු කොරියාවේ රැකියාවල නිරතවන අතර ඔවුන් එරට ආර්ථිකයට පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව සඳහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන්ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළා.
එසේම දකුණු කොරියාවේ සේවයෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් නැවත සිය රටට පැමිණෙන්නේ නිපුණතාවයෙන් යුත් ශ්‍රමිකයන් ලෙස බව පෙන්වාදුන් දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකයට එයින් මනා දායකත්වයක් ලබාගත හැකි බවද සඳහන් කළා.
එසේම ඩිජිටල්කරණය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දුන් අතර ඩිජිටල්කරණයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත් දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආදර්ශයන් ලබාගත හැකි බව දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
නුදුරේදීම දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙස ද මෙහිදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කරනු ලැබුවා.