පොලීස් නිලධාරින්ගේ ක්‍රියා වීඩියෝ කරන්න ජනතාවට පුළුවන් – පොලිස්පති
පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ කිරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා නීතිමය බාධාවක් නොමැති බවත් දැනුම්දෙමින් වැඩබලන පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛය මඟින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම වැළැක්වීමට පියවර නොගත යුතු බවට සෑම නිලධාරියෙකුම දැනුවත් කරන ලෙසයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, ඉහළ පොලිස් නිලධාරීන් වෙත දැනුම්දී ඇත්තේ.
පොලිස් නිලධාරීන් විසින් සිදු කරන රාජකාරි මෙන්ම ක්‍රියාකාරකම් ද, මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථාවලදී ඇතැම් පොලිස් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝගත කරන ජංගම දුරකථන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බවට වාර්තා වී ඇති බව එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.
වැඩබලන පොලිස්පතිවරයා මෙමඟින් තවදුරටත් අවධාරණය කර ඇත්තේ යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවක දී එම සංස්කරණය නොකළ වීඩියෝ රෙකෝඩනය (ශ්‍රව්‍ය දෘශ්‍ය රෙකෝඩනය) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වන වගන්තියට ඇතුළත් ව ඇති අතර, එම නෛතික ප්‍රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවය මෙන්ම විත්ති පාර්ශවය විසින් ද ප්‍රයෝජනයට ගත හැකි බවයි.
එමෙන්ම, පොලිස් නිලධරයෙකු සිදු කරන විනය විරෝධී ක්‍රියාවන් මහජනතාව විසින් වීඩියෝගත කිරීම මඟින් එම පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කිරීමට හැකියාව ලැබෙන අතර, එවැනි විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීමට ද එය අවස්ථාවක් වනු ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.
කෙසේවෙතත්, පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමෙන් අනතුරුව එම වීඩියෝපට සංස්කරණය කර, ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාව වෙත ස්වෛරී හැඟීම් ඇති වන ආකාරයෙන් එම සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමක් සිදු වුවහොත්, එවැනි තැනැත්තන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බවද එම උපදෙස් මාලාවෙහි වැඩිදුරටත් සඳහන්.