ජයගමු ශ්‍රී ලංකා විදෙස් රැකියා රැගෙන මෙවර ගම්පහට

වසර 30ක් මුළුල්ලේ පැවති යුධ සමයේදී කඨෝර ජීවිතයක් ගෙවා අවසන් කළ, භෞතිකමය සහ ජාතිකත්ව මට්ටමින්ද අඩු සැලකිලි ලද දිස්ත්‍රික්කයක් ලෙස වවුනියාව දිස්ත්‍රික්කය බොහෝ දෙනෙක් හඳුනනු ලබනවා.
විදේශ රැකියා ලබා දීමේදී එම දිස්ත්‍රික්කයට වැඩි සැලකිලි ලබා දීමේ අවශ්‍යතාව තහවුරු කෙරෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ මෙවර වැඩසටහන පසුගිය මාර්තු 29-30 දෙදින වවුනියාව දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව, වෘත්තික ප්‍රජාව, විදේශගත රැකියා අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා අවස්ථා සහ ප්‍රතිලාභ ලබා දෙමින් සාර්ථකව අවසන් කෙරුණා.
‘ස්මාට් වැඩ්ඩන්ගේ ස්මාට් අරගලය වවුනියාවට’ යන උද්ධෘතය සහිතව ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සංවිධානය කරන ලද අතර මෙය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් අනුව අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
වවුනියාව ගාමිණී මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙවර වැඩසටහනට වවුනියා දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගත් රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්, විදේශගත වීම අපේක්ෂාව කර ගත් රැකියා අපේක්ෂිතයින්, රැකියා උපදේශනය හා දිරිගැන්වීම් අවැසි පාර්ශ්ව සහ විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල දූ දරුවන්, පාසල් සිසු සිසුවියන් සමග රජයේ ආයතන නියෝජනය කරන නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සහභාගිවී සිටියා.
‘ජයගමු ශ්‍රී ලංකා’ දෙදින වැඩසටහනේ විශේෂම අවස්ථාවක් වූයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් දෙවැනි දිනයේදී (30) මෙහෙයවන ලද පාසල් සහ තරුණ දරුවන් සහභාගි වූ ‘ස්මාට් යූත් ක්ලබ්’ අදියරයි.
‘ස්මාට් යූත් ක්ලබ්’ මෙතෙක් පැවති වැඩසටහන්වලදී සියලු දිස්ත්‍රික්කවල තරුණ ප්‍රජාවගෙන් අමාත්‍යවරයා ඇසූ ‘ඔබ සතුටෙන්ද?’ යන පැනයට වවුනියා සහභාගිත්වයෙන් පිළිතුරු ලැබුණේ ඔවුන් සතුටෙන් සිටිනා බවටයි.
අනෙකුත් දිස්ත්‍රික්කවලින් මේ දක්වා එවැනි පිළිතුරු ලැබුණේ ඉතා අඩුවෙන් වන අතර එවැනි සතුටුදායක සහ මිත්‍රශීලී වටපිටාවක ඇති වටිනාකමත් එම තරුණයනුත් එහිදී අමාත්‍යවරයාගේ විශේෂ පැසසුමට ලක් වුණා.
අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වවුනියාව ශ්‍රමිකයන්ට විදේශගත වීමේ සිහිනය සඳහා රජයේ සහ ලියාපදිංචි ආයතන සමග සම්බන්ධවී කටයුතු කිරීමේ වැදගත්කම එහිදී පහදා දුන්නා.
විදේශ රටවලට යවන බවට පොරොන්දුවී මුදල් ඉල්ලා සිටින කිසිදු පාර්ශ්වයකට මුදල් ලබාදී නොරැවටෙන ලෙසත් එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම පිණිස කටයුතු සැලසීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
අතීතයේදී ජාතිවාදී බලවේග විසින් රට යුද්ධයක් කරා ගෙන ගිය හැටි මෙන්ම ජාතිවාදී ගැටුම්කාරී අවස්ථා ඇති කිරීමට කටයුතු කළ ආකාරයත් අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර 2015දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ගීය දෙමළෙන් ගැයීමේ තීරණය ගැනීමේ අවස්ථාවද සිහිපත් කරනු ලැබුවා.
‘ජයගමු ශ්‍රී ලංකා’ පළමු දින ‘ස්මාට් වැඩ්ඩන්’ අදියර සඳහා වෙන් කර තිබුණු අතර ඔහුට කිරීමට හැකිදේ ගාල්ල සහ දකුණ ප්‍රදේශයට පමණක් නොකර උතුර ප්‍රදේශයටත් එලෙසම ක්‍රියා කරන බව අමාත්‍යවරයා එහිදී සහතික වුණා.
එහිදී අමාත්‍යවරයා අනාවරණ කළේ, රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙමින් ඇති මොහොතේ රටට ‘ඩොලර්’ එවමින් වැඩිම කාර්යභාරයක් ඉටු කර ඇත්තේ විදේශගත ශ්‍රමිකයින් බවයි.
වවුනියාව දිස්ත්‍රික්කයේ විදෙස්ගත ශ්‍රමික සංගම් සාමාජිකයින්ද අමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා සහභාගිවූ අතර ‘ශ්‍රමයට ගෞරවයක්’ නමින් පිහිටුවූ ‘ගරු සරු’ වැඩසටහනද එදින පැවැත්වුණා.
මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වූවන්ගේ ශ්‍රමයට ගරුත්වයක් ලබා දෙන ‘ගරු සරු’ වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු වෘත්තීකයන්ට සිය කුසලතා සහතික කරගැනීමේ අවකාශයද එහිදී ලබාදී තිබුණා.
අවිධිමත් වෘත්තීන්ට හිමි වැටුපේ පටන් නිසි වටපිටාව, ප්‍රායෝගික සුදුසුකම්, අසීරුතාව, ස්ථාවරභාවය, වෘත්තීය හිමිකම් පමණක් නොව ඒ සඳහා හිමි විය යුතු ගරුත්වයද ලබා දීම පිණිස ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහනද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් වනවා.
විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණ සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නිරත වන විගමණික ශ්‍රමිකයන් සිව් දෙනෙකු හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මුදල් ත්‍යාග ප්‍රදානය කරනු ලැබූ අතර මෙරටට පැමිණ ස්වයං රැකියාවල නිරත වන විගමණික ශ්‍රමිකයින් 15 දෙනෙකු සඳහාද මුදල් ආධාර ප්‍රදානය කරනු ලැබුවා.
විගමනික ශ්‍රමිකයන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය අගය කරමින් ඔවුන්ගේ පවුල් වල සාමාජිකින් සඳහා ඇස් කණ්නාඩිද, කාර්යාංශයේ අවස්ථා කීපයකදීම ලියංපදිංචිවී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය 6 දෙනෙකු ඇගයීමට ලක්කරමින් මුදල් ත්‍යාග ලබා දීමටද කරයුතු කර තිබුණා.
මීට අමතරව විදේශවල සේවය කරන විගමණික ශ්‍රමිකයන්ගේ සහ මෙරටට පැමිණ සිටින විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 80 දෙනෙකු හට පාසල් උපකරණ ප්‍රදානය කෙරුණු අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 17 දෙනෙකු හට ශිෂ්‍යත්ව ලබා දීමද සිදු කෙරුණා.
ඊට සමගාමීව විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර පිහිටුවීමට ස්මාට් බෝඩ් 04ක් ලබා දීමටද පියවර ගැනුණා.
‘ජයගමු ශ්‍රී ලංකා’ දෙවැනි දින වන 30 වැනිදා ‘ස්මාට් යූත් ක්ලබ්’ අදියර පැවැත්වුණු අතර අමාත්‍යවරයා එදින ගාමිණී මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පිහිටුවා තිබූ විදේශ රැකියා නියෝජිත ආයතන නීරීක්ෂණය කිරීමට එක්වී සිටියා.
එදින තරුණ තරුණියන් දස දහසකට ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන යටතේ වෘත්තීය පුහුණුව ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සිදු කෙරුණා.
‘ශ්‍රම වාසනා’ අරමුදල් වැඩසටහන මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල පාසල් ද දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබා දීමද එදින සිදු කෙරුණු අතර වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරන අඩු ආදායම්ලාභී පවුල්වල තෝරා ගත් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම එහිදී සිදු වුණා.
වවුනියාවේ සිට ‘ජයගමු ශ්‍රී ලංකා’ මීළඟ එළඹුම වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.
අප්‍රේල් 06-07 දෙදින ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ රට පුරා යන ජංගම වැඩසටහන සඳහා සහභාගි වන ලෙස ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත සේවා සහ රැකියාවල නියැලෙන, දෙස් විදෙස් රැකියා අපේක්ෂිත පුරවැසියන් වෙත විවෘත ආරාධනයක් තිබෙනවා.