දේශීය

දේශීය ආදායම් වෘත්තීය සමිති රු 10,000ක වැටුප් වැඩිකිරීමක් ඉල්ලයි

රුපියල් 10,000කින් වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව සඳහන් කරමින් අද (08) දහවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.

එම උද්ඝෝෂණයට සහභාගී වෙමින් දේශීය ආදායම් පොදු සේවක සංගමයේ, ප්‍රධාන ලේකම්, අජිත් පුෂ්ප කුමාර මහතා සඳහන් කර සිටියේ, ජීවන වියදම අන් කවරදාටත් වඩා ඉහළ ගොස් ඇති බැවින් එම ඉල්ලීම සිදුකරන බවයි.

මේ පිළිබඳ ව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපි හැමෝම දන්නවා වෙන කවරදාකටත් වඩා පසුගිය දිනවල කිරිපිටි, ගෑස්, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හා බෙහෙත් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගියා. ඒ තත්ත්වය තුළ තමන්ගේ ආදායම ඉහළ නඟා ගන්න පුළුවන් අය එය සිදුකර ගන්නවා. කොණ්ඩේ කපනකොට, බෙහෙත් ගන්න ගියාම එහෙම නැත්නම් වෙනත් සේවාවක් ලබාගන්න ගියාම, භාණ්ඩ මිල වැඩිවීමට සාපේක්ෂව ඔවුන් අපෙන් අයකරන මුදල් ප්‍රමාණය වැඩිකරලා තියෙනවා. ඒ නිසා අද සමස්ත රාජ්‍ය සේවකයා ට, වතු සේවකයා ට, පෞද්ගලික අංශ සේවකයාට ජීවත් වීමට අමාරු වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයාට වැටුප් වැඩිකර ගන්න වෙන විදියක් නෑ. වැටුප් ගෙවන්නේ ආණ්ඩුව. ඒ නිසා අපි ආණ්ඩුවට බලකරලා කියනවා. ජීවන වියදම බරපතළ ලෙස වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අද රාජ්‍ය සේවකයා ඇතුළු වැඩකරන ජනතාව කබලෙන් ළිපට වැටිලා. ඒ නිසා බඩු මිල වැඩි කරපු ආණ්ඩුව ට වගකීමක් තියෙනවා රාජ්‍ය සේවකයාට ජීවත් වෙන්න පුළුවන් වැටුපක් ලබාදෙන්න. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ රු 10,000කින් සියලු සේවකයින්ගේ වැටුප් වැඩිකරන්න. එහෙම නැත්නම් හෙට දවසේ  සමස්ත රාජ්‍ය සේවකයෝ එකතු වෙලා දැවැන්ත අරගලයක් කරන්න සුදානම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button