ඉම්රාන්ගේ ස්වාධීන අපේක්ෂකයන් පාකිස්තාන මැතිවරණයෙන් ඉදිරියට

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බවට ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, එය සමරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති බවයි.
පාකිස්තාන මහමැතිවරණයේදි සිරගතවී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව වාර්තාවන අතර ඊයේ (09) උදෑසන වන විට සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කළ යුතු වුවද, ඊයේ පස්වරුව වන විටත් නිකුත් වී ඇත්තේ 50%ක් පමණ ඡන්ද ප්‍රතිඵල පමණයි.
එමෙන්ම ඡන්ද ප්‍රතිඵල විකෘති කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වන බවට විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර ඇති බවද වාර්තාවනවා.
මෙවර මහමැතිවරණයේදි ඉම්රාන්ගේ පක්ෂයේ ඡන්ද ලකුණ භාවිත කිරීමට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා ඇති බැවින් එම පක්ෂයේ නියෝජිතයන් ස්වාධීන අපේක්ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත්වූ අතර, ඊයේ පස්වරුව වන විට ආසන 59ක ජය ලබමින් ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටි බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.
හිටපු අගමැතිවරයකු වන නවාස් ශෙරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය ආසන 47ක්ද, හිටපු විදේශ ඇමැති බිල්වාල් භූතෝගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන ජනතා පක්ෂය ආසන 41ක් ද ජය ගෙන තිබු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර සිව්වැනි වරටත් පාකිස්තානයේ අගමැති ධුරයට පත්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන හිටපු අගමැති නවාස් ෂෙරිෆ් ඔහුගේ අසුන පරාජයවී ඇති බව එරට නිල නොවන ඡන්ද ප්‍රතිඵලයකින් හෙළිවි තිබෙනවා.
එමෙන්ම නවාස් ශෙරිෆ් පරාජය කරමින් ඉම්රාන් ඛාන්ට සහාය පළ කරන ස්වාධීන අපේක්ෂයකු 11,000ක පමණ වැඩි ඡන්ද ප්‍රමාණයකින් එම අසුන ජයගෙන ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර වසර 2007 දී ඝාතනයට ලක්වූ පාකිස්තානයේ හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝගේ පුත්‍රයා වන බිල්වාල් භූතෝ සිය අසුන ජයගෙන ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.
ආසන 336කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන නියෝජිතයන් 70ක් හැරුණු විට සෙසු ආසන 266 සඳහා නියෝජිතයන් තෝරා පත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් නව රජයක් පිහිටුවීමට එක් පක්ෂයක් ආසන 169ක බලය ලබා ගත යුතුවනවා.
එමෙන්ම මැතිවරණ සමයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර අවදානම මත සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා රට පුරා අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් පාකිස්ථානයේ මැතිවරණ කාලයේදී ප්‍රදේශ රැසක සිදුවූ බෝම්බ පිපිරීම් හා වෙඩි තැබීම් හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශයේ 6දෙනකුට ජීවිත අහිමිවී තිබෙනවා.