දේශීය

ලිංගික චෝදනාවලට වරදරකරු බව ඔප්පු කළොත් පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වෙනවා – කෝප් සභාපති

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (18) පවසා තිබුණා.

හේෂා විතානගේ මන්ත්‍රීවරයා මීට පෙර දිනක කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු පාර්ලිමේන්තු නිලධාරිනියකට හිරිහැර කර ඇති බව සඳහන් කළ අතර එම චෝදනාව හේතුවෙන් කෝප් කමිටුවේ හිටපු සභාපතිවූ තමන් දැඩි අසීරුතාවට පත්වූ බවත් එබැවින් අදාළ සභාපතිවරයා කවුදැයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා හෙළි කළ යුතු බවත් හිටපු කෝප් සභාපති චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා තිබෙනවා.

ඉන්පසුව එහිදී ප්‍රකාශයක් කරමින් හේෂා විතානගේ මහතා කියා සිටියේ මෙම චෝදනාවට ලක්ව ඇත්තේ හිටපු සභාපතිවරයා නොව වත්මන් කෝප් සභාපතිවරයා බවයි.

පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික හිරිහැර කර ඇති බවට නඟන චෝදනාවලට තමා වරදරකරු වුවහොත් පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා මුළුමනින්ම අසත්‍යවන අතර එම චෝදනා තරයේ පතික්ෂේප කරන බව රංජිත් බණ්ඩාර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම එම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස රංජිත් බණ්ඩාර මහතා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කළේ එම චෝදනා සඳහා තමා නිවැරදිකරුවෙකු බව තහවුරු වුවහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම යටතේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා දණ්ඩනයට ලක් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button