දේශීය

ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි – අනුර

ගෝලීය අවශ්‍යතා නිසිපරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් වියයුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ඉදිරි අවුරුදු 10 තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බවත් ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන්කර තිබෙනවා.

පාසල් අධ්‍යාපනය නවීකරණය, ගුරු අධ්‍යාපනය, ද්විතියික අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සංවර්ධනය කිරීම යන කරුණු මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මීට අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button