ඥානසාර හිමිට නිදහස ඉල්ලා ජනපතිට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරහිමිට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
උන්වහන්සේ ඉල්ලා සිටින්නේ බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින ඥානසාර හිමියන්ට වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන සමාව ලබාදීමට කටයුතු කරන ලෙසටයි.
පසුගිය 2016 වසරේදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණා.
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනපතිට යොමු කළ එම ලිපියේ දැක්වෙන්නේ,
“පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය කාලවකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදිකරමින් කටයුතු කළ අතර සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමටද පියවර ගනිමින් කටයුතු කර ඇත. ඒ තුළින් ලාංකේය සමාජය තුළ ව්‍යාප්තවීමට ගිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසකි. තවද ‘ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ‘ සභාපති ධුරයද දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටයුතු කර ඇත. ඒ අනුව ජාතික සමගිය මෙන්ම සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයකින් එම ස්ථවිර තැන කටයුතු කර ඇති බව පැහැදිලි වේ. කරුණු එසේ හෙයින් මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානය යොමු කොට වෙසක් පුණ්‍ය මහෝත්සවය ද නිමිතිකොට ගෙන ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන්නැයි හිතධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනවා.”