රුසියානු හමුදා සේවයට ලාංකිකයින් යැවූ දෙදෙනෙක් අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (15) දින ඔවුන්ව අත්අඩංගුවට ගත් බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා.
සංචාරක වීසා මඟින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රැසියානු-යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී තිබෙනවා.
මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වනවා.
ඒ අනුව, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ පවත්වාගෙන ගිය අදාල ආයතනය ඊයේ වැටලීම් කර, එහි හිමිකරු සහ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වන විට අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන තිබුණා.
එමෙන්ම කිසිදු හමුදාවක සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකිරීම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මඟින් කිසිදු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඬුවම් කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.