දේශීය

දුම්රියේ දහසකට සේවය අතහැර යාමේ ලිපි මුද්‍රණයට?

දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇති බ​ව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

එම නිලධාරියා සඳහන් කළේ, එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු එම වර්ජනයට සහභාගි වී සිටිනවා.   

කෙසේවෙත​ත් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය නිකුත්කර තිබියදී මෙලෙස දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන් කළා.

දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් බලපෑම් කර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් ඔවුන් වැඩිදුරට​ත් සඳහන් කළා.

දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර ඇති වැඩවර්ජනය නීතිවිරෝධී වන බවත් සේවයට වාර්තා නොකරන අයට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනුම් දීමක්​ද සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button