දේශීය

පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද(07) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයකර තිබෙනවා.

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කාලගුණ අනාවැකි පළ කර ඇති ආකාරයට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇති වුවහොත්, නිල්වලා ගඟ දෙපසට විශාල ගංවතුරක අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිල්වලා ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට බලපෑම් එල්ල විය හැකි බවයි.

ඒ හේතුවෙන් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button