කැනඩාවේ සමූල පුද්ගල ඝාතනයේ සැකකාර ශ්‍රී ලාංකික සිසුවා අධිකරණයට

කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කර එරට පොලිස් අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික සිසුවා අද (14) නැවතත් ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ෆෙබ්‍රියෝද සොයිසා නම් එම ශ්‍රී ලාංකික සිසුවා පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ඔටාවා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහුට පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නිල වශයෙන් චෝදනා ගොනුකෙරුණා.
කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුයේ පසුගිය බදාදා රාත්‍රීයේදීයි.
එම ඝාතන සම්බන්ධයෙන් 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝද සොයිසා ඔටාවා පොලීසිය විසින් එදින රාත්‍රීයේම අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර සැකකාර 19 හැවිරිදි ශ්‍රී ලාංකික පාසල් සිසුවා පරිගණක ක්‍රීඩා සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය YouTube චැනලය අත්හිටුවීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඔටාවාහී සිදුවු ඛේදජනක ඝාතනයෙන් පසුව YouTube සමාගමේ මාර්ගෝපදේශයන්ට අනුව ආරක්ෂක සහ විශ්වසනීත්වය උදෙසා සැකකරු පවත්වාගෙන ගිය එම චැනලය අත්හිටුවීම සිදුකර ඇති බවයි.
යම්කිසි පරිශීලකයෙකුගේ බාහිර හැසිරීම මඟින් එම පරිශීලක ප්‍රජාවට හානියක් සිදුවන්නේ නම් එවැනි පියවර ගතහැකි බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ඔටාවාහීදී ඝාතනයට ලක්වු පවුලේ මව වන දර්ශනී දිලන්තිකා ඒකනායක මහත්මියගේ මෙරට නිවසේ ආගමික වතාවත් සිදුකර ඇති බව BBC සිංහල පුවත්සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.
Related: