විදෙස්

සටන් විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇරඹේ

ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසාහිදී රතු කුරුස සංවිධානයට බාරදී ඇති බව වාර්තාවනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේවන විට ගාසා තීරයේ දින 04ක සටන් විරාමයක් ක්‍රියාත්මකවී ඒ අනුව මෙලෙස හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 24 දෙනෙකු නිදහස් කර ඇති අතර ඔවුන් නැවත ඊශ්‍රායලයට පැමිණ ඇති බවයි.

ඔවුන් අතර ඊශ්‍රායල ජාතිකයින් 13 දෙනෙකු, තායිලන්ත ජාතිකයින් 10 දෙනෙකු සහ පිලිපීන ජාතිකයෙකු සිටින බව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත් වීමක් සිදුකරන කටාරය සදහන් කර තිබෙනවා.

ඊශ්‍රායල ජාතිකයින් අතර වයස අවුරුදු දෙක, හතර, හය සහ නවයේ ළමුන් හතර දෙනෙකු මෙන්ම 85 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත් බවයි වාර්තාවන්නේ.

එසේම සටහන් විරාමයේ කොටසක් ලෙස ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන රැඳවියන් පිරිසක් මේවන විට බටහිර ඉවුරට නිදහස් කර ඇති බව සඳහන්.

මෙම කාලය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 ක් සහ පලස්තීන රැඳවියන් 150 ක් නිදහස් කිරීමට අදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ගාසා තීරයට අවශ්‍ය වෛද්‍ය සැපයුම්, ඉන්ධන සහ ආහාර රැගත් ලොරි 137 ක් අද ඊජිප්තුවෙන් ඇතුළු වීමට අවසර ලැබී ඇති බවයි සඳහන්වන්නේ.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පුද්ගලයන් 1200ක් මිය ගිය අතර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

එතැන් පටන් ගාසාහි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පුද්ගලයන් 14,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඊයේ සටන් විරාමය ආරම්භවූ පළමු දිනයේදීම වෛද්‍ය සැපයුම්, ආහාර සහ ඉන්ධන රැගත් ට්‍රක් රථ 90ක් ඊජිප්තුවේ දේශ සීමාවෙන් ගාසා තීරයට ඇතුළුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී ඊයේ සිට සටන් විරාමය පවතින දින 4 පුරා අඛණ්ඩව එම සැපයුම් ප්‍රවාහන සිදු කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

සටන් විරාමය පවතින කාල පරිච්ඡේදය තුළ ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස්දහසක් රැගත් ට්‍රක් රථ සහ ගෑස් පිරවූ ට්‍රක් රථ 4ක් දෛනිකව ඊජිප්තුවේ අල් රෆා දේශ සීමාවෙන් ගාසා තීරයට ඇතුළු වීමට නියමිත බව ඊජිප්තු බලධාරියකු සීඑන්එන් පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button