Uncategorizedදේශීය

ජනපති සිව්දින චීන නිල සංචාරය අරඹයි

සිය සිව්දින චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහාවු 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිට ලබන 20 වනදා දක්වා චීනයේ සංචාරය කිරීමට නියමිතව තිබෙන අතර මෙම සංචාරය තුළදී ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළ ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබෙනවා.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඇමතිවරුන් පත් කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button