දේශීය

කළුබෝවිල රෝහලේ මෝචරියේ මළ සිරුරු පිරිලා

කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන, නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු අද (06) සිට එහි මෘත ශරීරාගාරය වෙත භාර ගැනීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස හා නුගේගොඩ පොලිස් කොට්ඨාසවල පිහිටි සියලු ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඊයේ ( 05) ලිඛිතව දැනුම් දීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ හැකි මළ සිරුරු 36ක ධාරිතාව ඉක්මවා බාහිරින් රැගෙන ආ නාදුනන මළ සිරුරු 28ක් මාස 14ක් තිස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකොට අතහැර දමා තිබීම බවයි වාර්තා වන්නේ.

මෙසේ රෝහලට රැගෙන එන නාදුනන මළ සිරුරුවල පසුවිපරම් කටයුතු පොලිසිය හරහා සිදු කර භාරකරුවන් සොයා කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වුව ත් ඊට පොලිසිය දක්වන උදාසීනත්වය මීට හේතු වී ඇති බවයි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ 36න් ශීතකරණ දෙකක් අත්‍යවශ්‍ය සේවා සඳහා ශරීර අවයව තැන්පත් කිරීමට වෙන් කළ යුතු අතර ඉතිරි ශීතකරණ 34න් 28ම මාස 14 තිස්සේ මෙම මළ සිරුරු 28ක් තිබීම හේතුවෙන් දෛනික සේවා සැපයීමට ඉතිරිව ඇත්තේ ශීතකරණ 6ක් බවත්එය කිසිසේත් ම ප්‍රමාණවත් නොවන බව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අධිකරණ නියෝග මත හෝ වෙනත් හේතු මත හදුනාගත් මළ සිරුරු දිනපතා 8ක් හෝ 10ක් රෝහලට රැගෙන එන අතර එම මළ සිරුරුවල භාරකරුවෙකු දුර බැහැරක සිට පැමිණීමට දිනක් හෝ දෙකක් ගත වුවහොත් ඒවා තැන්පත් කිරීමට හෝ මේ තත්ත්වය මත පහසුකම් නොතිමෙන් ඇතැම් මළ සිරුරු ට්‍රොලි මත තැබීමට පවා සිදු වන බව එම කාර්යාලය සඳහන් කරනවා.

මෙසේ පරීක්ෂණ අවසන් නොකළ මළ සිරුරු අතර පිළියන්දල මළ සිරුරු 7ක්, ගල්කිස්ස ප්‍රදේශයේ මළ සිරුරු 3ක්, මහරගම ප්‍රදේශයේ මළ සිරුරු 3ක්, කිරුළපන ප්‍රදේශයේ මළ සිරුරු 2ක්, මිරිහාන ප්‍රදේශයේ මළ සිරුරු 2ක්, වැල්ලවත්ත ප්‍රදේශයේ මළ සිරුරු 2ක්, කැස්බෑව, මොරටුව, බොරැල්ල, වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානවලින් එක් මළ සිරුර බැගින් භාර දී තිබෙනවා.සෙසු මළ සිරුරු පහ රෝහල්ගතව සිටියදී මිය ගිය අයගේ සිරුරු බව පැවසෙන්නේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාශවල ඉහළ නිළධාරීන් දැනුවත් කර ඇති අතර එම අවස්ථාවලදී පමණක් පහළ නිලධාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය කටයුතු සිදු කළ ද පසුව නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවීමෙන් නාඳුනන මළ සිරුර ගොඩ ගැසී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button