දේශීය

ආනයනික වාහන තෙවැනි පාර්ශවයකට පැවරීම ගැන තීරණයක්

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබාදී තිබෙන පහසුකම යටතේ ආනයනය කෙරෙන වාහනයේ වටිනාකමින් 10%​ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගෙවා තෙවැනි පාර්ශවයකට පැවරීමට පහසුකම් සලසා තිබෙනවා.

ආනයනය කෙරෙන වාහනය තෙවැනි පාර්ශවයකට පැවරීම මින් පෙර තහනම්ව තිබුණා.

නමු​ත් එම තහනම යටතේ වුවද තෙවැනි පාර්ශවයකට වාහන පැවරීම දිගින් දිගටම සිදු වන හෙයින් කැබිනට් තීරණයක්ද ගෙන ඉහත පහසුකම සැලසීමට පියවර ගෙන තිබෙනවා.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන්.

මේ අතර පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා වන විට මෙම පහසුකම යටතේ වාහන 298ක් ආනයනය කර තිබෙන අත​ර ඉන් 129ක්ම ආනයනය කර ඇත්තේ පවතින නීතීරීති උල්ලංඝනය කරමින් බව අනාවරණයවී තිබෙනවා.

මේ බව අනාවරණයවී ඇත්තේ පාර්ලිමේන්තුවේ පසුගියදා පැවති මුදල් කාරක සභාවේදීයි.

මෙම වාහන 129 ආනයනය කිරීමේදී ආනයන බලපත්‍රය වෙනත් කෙනකුට පැවරීම හෝ විකිණීම, ආනයනික වාහනය තුන්වැනි පාර්ශවයකට විකිණීම වැනි පවතින නීතිරීති උල්ලංඝනය කිරීම් දක්නට ලැබුණු බව මෙම කාරක සභාවට රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් දැනුම්දී තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරටට එවා තිබූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මත විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන ආනයන පහසුකම ලබාදී තිබුණා.

එම ප්‍රමාණයන් මත වාහන ආනයනය සඳහා ණයවර නිකුත් කිරීමේ කාලය ලබන ජුනි මස අවසානය තෙක් දීර්ඝ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button