එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අදින් (18) ආරම්භ වීමට නියමිතයි.
මෙවර සැසිවාරය ලබන 21 වනදා දක්වා පැවැත්වේයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර සැසිවාරයේ තේමාව වූයේ, “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 21 වනදා වන අතර, ජනාධිපතිවරයා ඊයේ (17) අලුයම අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත පැමිණ තිබුණා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍ය අතර සංවාදය සඳහාද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා .
මේ අතර දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ඊයේ (17) දිනට යෙදී ඇති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117වන ජන්ම දින සමරුම වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවයි.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක නිරතවන බැවින් ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.