ක්‍රීඩා

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ට තාවකාලික විදෙස් ගමන් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරඟාවලීන්ට විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

එබැවින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට ක්‍රිකට් ආයතනය විසින් විදෙස්ගතවීමේදී ලබාදෙන විරෝධතා නොමැති බවට වන ලිපි නිකුත් නොකිරීමටද තීරණය කර තිබෙන බවයි වාර්තාවන්නේ.

එසේ මුදලට ක්‍රීඩා කරන තරඟවලට වේග පන්දු යවන්නන් සහභාගිවීම ලබන වසරේ ජනවාරි මාසය තෙක් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති අතර, වේග පන්දු යවන්නන් නිතර ආබාධවලට ලක්වීම මෙවැනි පියවරක් ගැනීමට හේතුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ලබන වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේ පිල එක්දින හා විස්සයි විස්ස තරඟාවලියක් උදෙසා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතර, එම තරඟාවලියට සියලු වේග පන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාව යහපත් මට්ටමක පවත්වා ගැනීම ‘ෆ්‍රැන්චයිස්’ තරඟාවලි තාවකාලිකව අත්හිටුවීමට ප්‍රධානතම හේතුවවී තිබෙනවා.

සුළු ආබාධ තත්ත්වයක් මැද වුවද වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවූ අතර, ළහිරු කුමාර ආබාධ හේතුවෙන් තරඟාවලියෙන් ඉවතට ගියා.

එමෙන්ම එක්දින හා විස්සයි විස්ස නායක දසුන් ශානකද පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට ගිය අතර, යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණා.

විදෙස්ගතවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කිරීමත් සමඟ ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිත අබුඩාබි ටී10 ක්‍රිකට් තරඟාවලියෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඉවත්වී ඇති බවයි වාර්තාවන්නේ.

එලෙස ඉවත්වී ඇත්තේ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස පිලට ක්‍රීඩා කරන ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුෂංක, වනිඳු හසං‍රග සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයන්.

නමුත් චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ හා ලසිත් කෲස්පුල්ලේ වැනි ක්‍රීඩකයන් අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සූදානමින් සිටින බවයි වාර්තාවන්නේ.

මෙයට පෙර අබුඩාබි ටී 10 ක්‍රිකට් තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගත් වනිඳු හසරංග මෙවර ‘වොරියර්ස්’ කණ්ඩායමේ නායකත්වයට පත්කොට තිබුණද ආබාධ සුව නොවීම හේතුවෙන් ක්‍රීඩා කිරීමේ හැකියාව නැති බව සඳහන්.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟවලියේදී කඩුලු 21ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක මෙවර ටී10 තරගාවලියේදී ‘අබුඩාබි’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි අතර, මතීෂ පතිරණ ‘බංග්ලා ටයිගර්ස්’ පිලට හා ළහිරු කුමාර ‘නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස්’ පිල නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් සිටි බවයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button