පඩි වැඩි කරන්න බදු වැඩි කරන්න වෙයි – බන්දුල

පවතින තත්ත්වය තුළ වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මේ වනවිට එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීම බවද ඔහු සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ, අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, තත්ත්වය එසේ තිබියදී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.
මේ අතර 2022 වසරේදී මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු ආදායම රුපියල් බිලියන 1,751ක්.
ඉන් 2022 වසරේ රාජ්‍ය සේවක වැටුප් සඳහා පමණක් බිලියන 956ක් වැයවී ඇති බව අද (31) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා තිබෙනවා.
අමාත්‍යවරයා පවසන්නේ, විශ්‍රාම වැටුප් සඳහා බිලියන 309ක්, සමෘද්ධිය ඇතුළු සහනාධාර සඳහා බිලියන 506ක් වැය කළ බවයි.
ඒ අනුව රාජ්‍ය බදු ආදායමෙන් ගෙවීමට හැකිවී ඇත්තේ, මෙම වියදම් පමණක් බවද ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් සඳහන් කළා.
ඉතිහාසය පුරාම මෙම තත්ත්වය පියවාගෙන ඇත්තේ ණය ගැනීමෙන් සහ මුදල් මුද්‍රණය කිරීමෙන් බවද අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.
එහිදී ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රට පුරා කඩාවැටීමට ආසන්න සහ දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින පාලම් 30ක් පමණ හඳුනාගෙන ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස්,
“එවැනි පාලම් හඳුනගෙන දැනට යම් යම් ප්‍රතිකර්ම කරමින් තියාගෙන ඉන්නවා. අනතුරුදායක පාලම් විතරක් හදන්න ඉතා විශාල මුදලක් යනවා. ලංකාව පුරාම ඉතාම අබලන් වෙච්ච මහමාර්ග රැසක් තිබෙනවා. ඒවටත් යොදවන්න තිබෙන්නේ මේ ආදායම. තවමත් බිලියන 2,000කට වඩා ආදායමක් උපයා ගන්න බැරිවෙලා තියෙනවා ලංකා ආණ්ඩුවට. ඒ නිසා මංමාවත්, පාලම් වැනි යටිතල පහසුකම් සඳහා මුදල් කොහෙන්ද?”