කාන්තාවන්ට අපහාස වන වචන රැසක් ඉන්දීය අධිකරණය නීති පොතෙන් මකාදමයි

ඉන්දීය අධිකරණ පද්ධතිය තුළින් කාන්තාවන්ට හානිවෙන සහ විනිසුරුවරුන් සංවේදී කරන වචන 40ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ටාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගණිකාව, වෛශ්‍යාව, අනියම් බිරිඳ ඇතුළු වචන 40ක් ඉවත් කර ඒ සඳහා විකල්ප වචන 40ක් ඇතුළත් පොතක් අධිකරණ පද්ධතියට හඳුන්වා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය අගවිනිසුරුවරයා පවසා ඇත්තේ ආදාළ නුසුදුසු වචන අධිකරණ තීන්දුවලින් ඉවත් කළ යුතු අතර මෙම පොත මඟින් කාන්තාවන් පිළිබඳ සමාජයේ ඇති ඒකාකෘති හඳුනා ගැනීමට, අවබෝධ කර ගැනීමට සහ ඒවාට එරෙහිව සටන් කිරීමට නීති ප්‍රජාවට සහය වනු ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ විකල්ප වචන හඳුන්වාදීම මඟින් නඩු කටයුතුවලදී පූර්ව විනිශ්චයන් , විවේචනයන් හෝ සැකකිරීම් සඳහා ඇති ඉඩකඩ අවම වනු ඇති බවයි.
අධිකරණයක තීරණ ගැනීමේදී ඕනැම පුද්ගලයෙකු මෙන් විනිසුරුවරයෙකුද නොදැනුවත්කම හේතුවෙන් පුර්ව නිගමන මත පිහිටා කටයුතු කිරීමෙන් විශාල හානියක් සිදු විය හැකි බවද ඔහු මෙහිදී පවසා තිබෙනවා.