දේශීය

ළමා මන්දපෝෂණ සැබෑ තොරතුරු වාර්තාවලින් සඟවලා – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සැබෑ සංඛ්‍යාව අදාළ රාජ්‍ය ආයතන සිය වාර්තාවලින් ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි රටේ මන්දපෝෂණ තත්ත්වය සොයා බැලීම සහ එම තත්වය වැලැක්වීම සදහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසනවා.

මේ හේතුවෙන් ළමා මන්ද්පෝෂණය ගැන නිවැරදි දත්ත අයවැයට පෙර ඉදිරිපත් කරන ලෙස එම විශේෂ කාරක සභාවේ සභාපති වඩිවෙල් සුරේෂ් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබුණා.

නිවැරදි තොරතුරු ලැබුණහොත් අයවැයට පෙර මේ පිළිබඳ යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල හැකි බවද ඔහු සඳහන් කළා.

වතුකරයේ දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳ මෙම කාරක සභාවේදී සාකච්ජාවක් සිදු කරනු ලැබුවා.

ළමා මන්දපෝෂණය හුදෙක් නිසි පරිදි ආහාර නොලැබීම නිසාම මතුව ඇති තත්වයක් පමණක් නොව, වැරදි ආහාර රටාවහ ඒ සඳහා බලපා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු එම කාරක සභාව හමුවේ පවසා තිබෙනවා.

පෙර පාසල් දරුවන්ට දෙන පෝෂණ ආහාර වේල සඳහා වෙන්කර ඇති රුපියල් 60ක මුදල වැඩි කරගත හැකි නම්, එම පෝෂණ ආහාර වේල තවදුරටත් වර්ධනය කරගත හැකි බවද ඔවුන් සදහන් කළා.

ළමා මන්දපෝෂණය වැලැක්වීම සදහා රාජ්‍ය ආයතන රැසකින් විශාල ලෙස මුදල් වැයකරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පෙන්වාදුන් කාරක සභාව මෙම වැඩසටහන එක රාජ්‍ය ආයතනයක් හරහා ප්‍රතිපාදන යොදාගනිමින් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button