ඡන්දය පෙනි පෙනී වැට් වැඩි කළේ සිතකින් නොවේ – රනිල් වික්‍රමසිංහ

වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට පසුගිය සඳුදා පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩලයේදී ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් ෙදාස් කියන නමුත් රජය මෙම තීරණය නොගත්තේ නම් රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඕනෑම ආණ්ඩුවකට හෝ මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙවැනි දුෂ්කර තීරණයක් ගැනීම අසීරු කටයුත්තක් බවයි.
ඒ අනුව, කනගාටුවෙන්වුවද ඉන්දියාව, පකිස්තානය යන රටවල තිබෙන තත්ත්වයට බදු ප්‍රතිශත ගෙන ඒමට සිදුවූ බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත් තීන්දුවක් බව ඔහු සඳහන් කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය දා (නොවැම්බර්. 1) සංවිධානය කර තිබූ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල-2023 අමතමින්.
ලබන වසරේ අය-වැයෙන් ණය සහ පොළිය ගෙවීමට සැලකිය යුතු කොටසක් වෙන් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
මෙම ණය නොගෙවා සිටියහොත් නැවත පැරණි තත්ත්වයට රට පත්වනු ඇති අතර ඒ අනුව රුපියල ආරක්ෂා කර ගෙන ණය ආපසු ගෙවීම පිළිබඳ අවධානය යොමුව ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනතාවගේ දෝෂාරෝපණයට ලක්විය හැකි නමුත් රට වෙනුවෙන් මෙවැනි අසීරු තීරණ ගැනීමට සිදුවන බවත්, නායකත්වය යනු, ජනතාවට සත්‍ය පහදාදී රට වෙනුවෙන් එවැනි නිවැරදි තීරණ ගැනීම බවත් පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා තරුණ නායකත්වය පුරුදු පුහුණු විය බවද ප්‍රකාශ කර තිබෙනවා.