වැලිකඩ ඝාතනය: රංගජීව නිදහස්. එමිල් රංජන්ට මරණ දඩුවම

2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව පසුගිය 2019 වසරේ නඩු පවරනු ලැබූවා.
මේ නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැනුනා.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නෙවමාල් රංගජීව යන අයව නිදොස් කොට නිදහස් කළ අතර හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දඩුවම නියම කරනු ලැබූවා.
මෙම නඩුවට අදාළව විත්තිය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ දේශන අවසන් කිරීමෙන් පසුව නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 06 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණා.
පසුගිය ජනවාරි 06 වනදා පෙරවරු 11ට මෙම නඩුව කැඳවා තිබූ අතර නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව අද (12) පස්වරු 1.30ට දෙන බව විනිසුරු මඬුල්ල දන්වා සිටියා.
කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල අද පස්වරු 5 පමණ වනතෙක්ම අධිකරණයට පැමිණීම ප්‍රමාදවී තිබුණා.