පුරාවිද්‍යා ප්‍රතිමා ගැන කටයුතු කරද්දී මින් ඉදිරියට පූර්ව අනුමැතිය අවශ්‍යයි

ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ප්‍රතිමා හෝ ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මින් ඉදිරියට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ගත යුතු බවත් නොඑසේ නම් නීති මඟින් කටයුතු කරන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුකන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දැනුම්දී තිබෙනවා.
අවුකන ප්‍රතිමාවට සිවුරක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක්ද ගෙන තිබුණා.
සිවුරක් පැලඳවීම නිසා ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැති බව එම සිද්ධිය සම්බන්ධයෙන් කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන් සිදු කළ ස්ථාන පරීක්ෂාවෙන් පැහැදිලිවී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මියගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධව ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවයි.
පසුගිය පොහෝ දින අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැලඳවීම පිළිබඳ සමාජ මාධ්‍යජාලා ඡායාරූප සහිතව ප්‍රවෘත්තියක් පළ කළ අතර එය සමාජයේ මහත් කතාබහට ලක්වී තිබුණා.
එමෙන්ම ප්‍රවෘත්තියට අදාළව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වෙතින් ඉතා කඩිනම් වාර්තාවක් කැඳවා තිබෙනවා.
ඒ අනුව බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරීක්ෂාවක් සිදු කොට ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳ අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී විහාරාධිපති හිමි පවසා තිබුණේ, විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයක් සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළ ලෙසයි.
උන් වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ ‘තමන් වහන්සේගේ අනුදැනුම මත සිදුවූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණින් සිදු නොකළ බවයි.
එමෙන්ම මෙම කඨින පූජාව වෙනුවෙන් සිවුරක් පැලඳවීම පිළිබඳ කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට නොහැකිවූ බවත් එමෙන්ම එය අනවබෝධයෙන් සිදුවූ කටයුත්තක් බව උන් වහන්සේ පිළිගෙන තිබෙනවා.
කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තා අනුව අවුකන ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැති බව සඳහන්.
මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබා ගත යුතු බවත් එසේ නොවුණහොත් නීති මඟින් කටයුතු කරන බවටත් උන් වහන්සේට දන්වා තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන්වන්නේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවයි.