මහමැතිවරණය කලින් තියන්න පොහොට්ටුව උනන්දුවෙන්

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතයවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
තමන්ගේ පෞද්ගලික මතය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා.
මේ වනවිට මන්ත්‍රීවරුන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර, ඒ පිළිබඳව ඉදිරි විධායක සභා රැස්වීමේදී යෝජනාවක් ලෙස සම්මත කිරීම සඳහා සූදානමින් සිටින බවයි වාර්තාවන්නේ.
එහිදී සමබර පාර්ලිමේන්තුවක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයකට ප්‍රමුඛත්වය දිය යුතු බව බැසිල් රාජපක්ෂ මහතාගේ මතයවී තිබෙනවා.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම තුළින් කිසිදු දේශපාලන පක්ෂයකට අසීමිත බලයක් නොලැබෙන හේතුවෙන් ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම මේ අවස්ථාවේ සුදුසු බවද ඔවුන් පවසනවා.
එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ, ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වා දෙවනුව පාර්ලිමේන්තු මැතිවරණය හෝ කුමන මැතිවරණයක් හෝ පැවැත්වුවත් පත්වන ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට අසීමිත බලයක් ලැබෙන අතර ඒ තුළින් ජනතා අපේක්ෂා ඉටුනොවනු බවත් පෙර අවස්ථා කිහිපයකින් පැහැදිලි වන බවයි.