දේශීය

විදුලිබිල යළි වැඩි කිරීමට පාර්ශ්ව රැසකගේ විරෝධය

විදුලි ගාස්තු ඉහළ නැංවීම තුළින් කර්මාන්ත ශාලා කඩා වැටීමේ අවදානමක් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්නගේ සංගමය පවසනවා.

එහි ජාතික සංවිධායක සංජීව ධම්මික කියා සිටියේ, මේ හේතුවෙන් නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ද ඉහළ යා හැකි බවයි.

ඔක්තෝබර් මස 01 වන දා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, විදුලි බිල සංශෝධනය සඳහා මෙවර ආකාර 2කින් යෝජනා ඉදිරිපත් කර තිබෙන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී ඇත්තේ මේ වසරේ ජූලි සහ දෙසැම්බර් කාලවකවානුවට අදාළව සිය ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් ඇති බවයි.

ඒ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු ලෙස ඔවුන් දක්වා ඇත්තේ, ජලවිදුලි උත්පාදනය පහළ යෑම, ගල් අඟුරුවලින් විදුලි උත්පාදනය පහළ යාම සහ විදුලි ඉල්ලුමේ ඉහළ යාමයි.

ඒ අනුව, විදුලි ගාස්තු සංශෝධන යෝජනාව කඩිනමින් සලකා බලන ලෙස මහජන උපයෝගීතා කොමිසමට, අමාත්‍ය මණ්ඩලය ද දන්වා තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙන්නේ, ලබන වසරේ ජනවාරි මාසයට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයේ එක් යෝජනාවකට අනුව දැනට පවතින මාසික විදුලි ගාස්තුවට සියයට 22ක් එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

දෙවැනි ගාස්තු සංශෝධන යෝජනාවේ දැක්වෙන්නේ, ඒකක 0 සිට 30 දක්වා රුපියල් 10ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 18 දක්වාත් ඒකක 31 සිට ඒකක 60 දක්වා රුපියල් 25ක්ව පවතින ඒකකය ගාස්තුව රුපියල් 33 දක්වා ද ඉහළ නැංවීමටයි.

ඒකක 0 සිට 60 දක්වා කාණ්ඩයේ රුපියල් 32ක්ව පවතින ඒකක ගාස්තුව රුපියල් 40 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ රුපියල් 35ක්ව පවතින ඒකක ගාස්තුව රුපියල් 43 දක්වාත් වැඩි කිරීමට අදාළ සංශෝධනයේ දක්වා තිබෙනවා.

එමෙන්ම, ඒකක 91 සිට 120 දක්වා සහ 121 සිට 180 දක්වා වන කාණ්ඩ දෙකෙහි රුපියල් 50ක්ව පවතින ඒකකයක ගාස්තුව රුපියල් 58 දක්වාත් ඉහළ නැංවීමට නව යෝජනාවෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇති අතර, ඒකක 181 න් ඉහළ කාණ්ඩයේ රුපියල් 75ක්ව පවතින ඒකක ගාස්තුව රුපියල් 83 දක්වාද ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

එම කාණ්ඩවල ස්ථාවර ගාස්තුවේ කිසිදු වෙනසක් නොකිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර, නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙන්නේ, ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා දැනට පවතින සෑම කාණ්ඩයකම ඒකකයක ගාස්තුවට රුපියල් 8 බැගින් එක් කිරීමටයි.

මේ අතර, විදුලිබිල වැඩි කිරීමට හේතු වී ඇත්තේ මණ්ඩලයේ අකාර්යක්ෂමතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button