පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
ඒ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය පිළිබදව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රශ්න කළේ ජනාධිපති මන්දිරයේ සහ අරලිය ගහ මන්දිරයේ දේපළවලට හානි කළ අරගලයේ නිරත පිරිස් අත්අඩංගුවට ගන්නේ නම් පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කළ මන්ත්‍රීවරුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්නයි. පාර්ලිමේන්තුව තුළ සිදුවන කඩාකප්පල්කාරී සිදුවීම් හෝ දේපල විනාශ කිරීම් හෝ සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ නොහැකි බව ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන පවසා සිටියා.
කෙසේ නමුත් මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම සිය විරෝධතාවය පල කර සිටි අතර ඔවුන් පෙන්වා දුන්නේ මන්ත්‍රීවරුන්ට එවැනි වරප්‍රසාදයක් සැබැවින්ම නොමැති බවයි. කතානායකවරයාද ඊට එකඟ විය.