කාගෙන්වත් බැනුම් අහන්නේ නැතිව රැකියාව කරන්න වැඩපිළිවෙලක් සකස්කරනවා – මනූෂ නානායක්කාර

කාගෙන්වත් බැනුම් අහන්නේ නැතිව ගරුත්වයක් ඇතිව රැකියාව කිරීමට ඕනෑම අයෙක් කැමති බවත් එසේ බැනුම් නොඅසා අභිමානයෙන් යුතුව තමාගේ රැකියාව කිරීමට වැඩපිළිවෙලක් නිර්මාණය කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අමාතවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධව වෘත්තීය ආයතන බිහිකරමින්, ලබන පෙබරවාරි මාසය වන විට ඒවා ගැසට් කිරීමට කටයුතු කරන බවයි.
මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ බස්රථ රියැදුරන් සමඟ ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස්,
“මේ රටේ හැම වෘත්තියකටම ගෞරවයක් ඇති කළයුතුයි. මේ රටේ නිසි සේව්‍ය සේවක ගිවිසුමක් ඇතිව කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා E.P.F, .E.T.F කැපෙන රැකියාවල නිතර වෙන්නේ ලක්ෂ විසි පහක පමණ පිරිසක්. ඊඉත් අපේ රටේ ශ්‍රම බලකායෙන් බහුතරයක් දෙනා නියෝජනය කරන්නේ මේ අංශය නෙමෙයි. ඒ අනුව අපේ රටේ ලක්ෂ හැටක පමණ පිරිසක් නිරත වෙලා ඉන්නේ අසංවිධිත අංශයේ රැකියා වලයි. මේ පිරිස රට වෙනුවෙන් විශාල කාර්යක් කරනවා. ඒ පිරිසට ඔබත් අයත් වෙනවා. ඒත් ඔබගේ වෘත්තියේ ගරුත්වය සම්බන්ධයෙන්, ඔබේ වෘත්තියේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රැකියාවේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් ඒ ගැන පැමිණිලි කරන්න තැනක් නැහැ”.
එලෙසම රියැදුරු වෘත්තිය, රිය සහයක වෘත්තිය කිරීමට නොහැකිවූ දවසකදී ජනතාව බලාගන්න ක්‍රමවේදයක් දැනට මෙරට තුල නැති බවත් ඒ හේතුවෙන් මෙවැනි රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන, නමුත් නිසි වෘත්තීය ආරක්ෂාවක් නැති පිරිස ගෞරවාන්විත වෘත්තිකයන් බවට පත් කරන ලෙසට ගරු සරු වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළා.
සෑම රැකියාවටම ගරුත්වය ඇතිවන වෘත්තීය භාවයක් සහ පුද්ගලයෙකුට තමන්ගේ වෘත්තිය පිළිබඳ අභිමානයකින් යුතුව කිරීමට හැකි පසුබිමක් රජයක් ලෙස ඇති කරන බවද අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව සෑම වෘත්තියකම නිරත වෙන කෙනෙකුට සාරවත් ජීවිතයක් ගත කිරීමට හැකිවෙන තත්ත්වයක් ඇති කළයුතු බවත්, එහිදී වෘත්තියේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරගැනීමත් යම් කිසි විදිහකට අනතුරක් සිදුවුවහොත් වැඩපිළිවෙලක් සහ රැකියාව අහිමිවුවහොත් ඊළඟ රැකියාව සෙවීම පිළිබඳවද සාකච්ඡා කළයුතු බව ඔහු සඳහන් කළා.
අමාත්‍යවරයා සකස් කරන මෙම වැඩපිළිවෙලට අයත් වෙන්නේ ජනතාව ශක්තිමත් කිරිමත්, ආරක්ෂා කිරීමත් සහ ගරුත්වයක් ලබාදීමත් කියන කාරණා පමණක් බව අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ, ලබන වසරේදී පාර්ලිමේන්තුවට එන නව රැකීරක්ෂා පනතට වෘත්තීය ගරුත්වය සම්බන්ධයෙන් වෙනම පරිච්ඡේදයක් ඇතුලත් කර තිබෙන අතර එක් එක් වෘත්තීන්ට අදාලව මණ්ඩල පිහිටුවිමටත් අදාල බලය ලබාගන්න බවත් ඊට අමතරව ඒ වෘත්තීන්ට අදාල ප්‍රමිතීන් ගැසට් කිරීමට හා රෙගුලාසි නිකුත් කිරීමට පනත ඔස්සේ බලය ලබාගන්න බවයි.
කෙසේවෙතත් මේවා යම්කිසි කෙනෙකු කඩ කරනවා නම් කම්කරු අමාත්‍යංශයේ නිලධාරීන්ට පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වීමට බලය ලැබෙන බවත් කම්කරු ප්‍රශ්න අපිටත් අනිත් දේවල් අනිත් ආයතනය වෙතටත් යොමුවන බව ඔහු සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්
“ප්‍රවාහන ක්ෂේත්‍රය කියන්නේ රටක ඉතාම වැදගත් ක්ෂේත්‍රයක්. අපි කොච්චර මාර්ග පද්ධති හැදුවත් වැඩක් නැහැ. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්න ඔබ ගුණාත්මක සේවයක් සැලසුවොත් තමයි අපි රටක් විදිහට ඉදිරියට යන්නේ පාරේ ට්‍රැෆික් එක අඩු කරගන්න පුළුවන් වෙන්නේ පුද්ගලික වාහන දාවනය පුළුවන් තරම් අඩු කරලා ජනතාව පොදු ප්‍රවාහනයට පැමිණියොත් විතරයි. බොහො රටවල පුද්ගලික වාහන වලට නගරය ඇතුලට එන්න තහනම් කරල තියෙනවා. නැත්තම් නගරය ඇතුලට පුද්ගලික වාහන එනවා නම් බද්දක් ගහනවා.”
“ඒත් ඒ වගේ දෙයක් කරන්න අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කළයුතුයි. ඒකට අදාල යටිතල පහසුකම් වලට අදාල කටයුතු මේවන කොට සිදුවෙනවා. ඒත් සේවාවක් විදිහට මෙහිදී ගණුදෙන කරන්න වෙන්නේ ජනතාව එක්කයි. ඔබ පීඩනයකින් නම් ඉන්නේ ඔබට මිනිස්සුන්ට හොඳට කතා කරන්න බැහැ. ඔබ පීඩනයකින් නම් ඉන්නේ කොච්චර විනය ගරුක වෙන්න කිව්වත් ඔබ පොලිසිය පේනේ නැති වෙනකොට වේගයෙන් යනවා වෙට්ටු දානවා.”
ඒ නිසා ඔබ විසින්ම හදාගන්නා වැඩි පිළිවෙලකට රාජ්‍ය සහයෝගය දීමයි අපි කරන්නේ. අපිට මීට අදාල රීති මාලාව හදලා දෙන්න. මොකද අපි පෙබරවාරි මාසය වෙනකොට මේවා ගැසට් කරන්න බලාපොරොත්තු වෙනවා.