දේශීය

ජොන්ස්ටන්ට රටින් පිටවීම තහනම් කරයි

2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යෙදවීම තුළින් රජයට රු. 11 ලක්ෂයකට අධික පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙන ලදි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවිය.

ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝගකළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් නඩු විභාගය අවසන් වන තෙක් තහනම් කරන බවත් පැවසීය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකයට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුවන් වෙත තවත් ඇප කොන්දේසි මෙහිදී පනවනු ලැබීය.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට ද අධිකරණය නියමකළේය.

මීට පෙර අධිකරණය මගින් නිකුත්කළ නොතීසියක් මත නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ වන මොහොමඩ් සාකීර් අධිකරණය හමුවේ පෙනීසිටි බව වාර්තා වනවා.

2013 වසරේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට රු. 1,190,000කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් පනතේ 70වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button