ජයගමු ශ්‍රී ලංකා ඊශ්‍රායල් රැකියා රැගෙන අද වව්නියාවට

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අද (29) සහ හෙට යන දෙදිනේදී වව්නියාව ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
මාතලේ දිස්ත්‍රික්කයට ‘ස්මාට් හෙටක්’ නිර්මාණය කර දීම වෙනුවෙන් පසුගිය සතියේ මාර්තු 22 -23 දෙදින බොහෝ කලකට නොපැවුත්වුණු පන්නයේ වැඩසටහනක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණා.
මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයට රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්, විදේශගත ශ්‍රමිකයින්, විදේශගත වීම අපේක්ෂාව කර ගත් උපදේශනය සහ දිරිගැන්වීම් අවැසිවූවන් මෙන්ම පාසල් දූ දරුවන් සහ රජයේ නිලධාරීහු ඉහත දෙදින තුළ බොහෝ සංඛ්‍යාවක් පැමිණ සිටි අතර කම්කරු හා විදේශ රැකියා මනූෂ නානායක්කාර මහතාගේ මගපෙන්වීම ‘ජයගමු ශ්‍රී ලංකා’ සඳහා එහිදී නිබඳව ලැබී තිබුණා.
මාතලේ දිස්ත්‍රික්කය යනු ඉතිහාසයේ පටන් රට තුළවූ නිදහස් හා සාධාරණය සඳහා කළ කැරලිවලට නිරන්තරව දායකවූ වීරයින්ගේ භූමියකි. රටේ නිදහස් අරගලය සඳහා සේනා සංවිධානය කළ ඉතිහාසයක් ඇති මාතලේ යටත් විජිත විරෝධී අරගලවලට නායකත්වය ගත් මුතුන් මිත්තන්ගේ පරම්පරාවට අයත් පිරිසගේ දායකත්වය ශ්‍රී ලංකාව තවදුරටත් ජයග්‍රාහී රටක් බවට පත් කිරීමේ ගමනට ඉතා වැදගත් අත්වැලක්
‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් ගමන්මගේ මූලික ස්ථානයක් ගෙන රට දිනවීමේ කර්තව්‍යයට අත්වැල් බැඳගනු පිණිස මාතලේ දිස්ත්‍රික්කයට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා එහිදී පොදුවේ ආරාධනා කරනු ලැබුවා.
මාතලේ වීර කැප්පෙටිපොළ අදිකාරම, ශ්‍රී ලංකාවේ එකම නාමික ජනාධිපති විලියම් ගොපල්ලව, ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, ජනකාන්ත නළු හේමාල් රණසිංහ මෙන්ම හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද මාතලේට අයත් වටිනා පුරවැසියන් බව අමාත්‍යවරයා සියලු දෙනා හමුවේ සිහිපත් කළේ වැඩසටහනේ පළමු දින (22) ‘මගෙන් පටන් ගමු – ජයගමු ශ්‍රී ලංකා ස්මාට් වැඩ්ඩන්’ සමාරම්භක අදියරේදීයි.
එම අවස්ථාවට ක්‍රීඩා සහ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී N. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ප්‍රියාන් විජේරත්න යන දේශපාලන නියෝජනය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර, රජයේ නිලධාරීහු සහභාගි වූහ.
අවිධිමත් අංශයේ රැකියාවල නියුක්ත පිරිස් සඳහා සිය කුසලතා සහතික කරගැනීමට අවශ්‍ය සහතික ලබා ගැනීමට එහිදී පහසුකම් සලසාදී තිබුණු අතර එදින පස්වරුවේ ‘ජයගමු ශ්‍රී ලංකා – ගරුසරු’ අදියර පැවැත්වුණා.
සමස්ත ශ්‍රම බලකායට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.
සිය වෘත්තීයට හිමි වැටුපේ පටන් සියල්ල අවිධිමත්ව පවතින තත්ත්වයක පසු වන අවිධිමත් අංශයේ රැකියා සඳහා නිසි වටපිටාව, ප්‍රායෝගික සුදුසුකම්, අසීරුතාව, ස්ථාවරභාවය, වෘත්තීය හිමිකම් පමණක් නොව ඒ සඳහා හිමි විය යුතු ගරුත්වයද බොහෝ විට අහිමි වනවා.
එවන් රැකියා කිරීමම අසාර්ථකත්වයක්, අවවරප්‍රසාදිත තත්ත්වයක් නිර්මාණය කරයි නම් එම රැකියාවට හිමි හැඳින්වීම වෙනස් කිරීමද ඉතා වටිනා සංකල්පයකි.
අවිධිමත් අංශයේ රැකියාවල නියුතු සියලු දෙනාගේ ශ්‍රමයට ගරුත්වයක් ලබා දීම පිණිස ආරම්භ කළ ‘ගරුසරු’ වැඩසටහනද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එවැනි තවත් එක් වැඩසටහනකි.
‘ශ්‍රම වාසනා’ අරමුදල් වැඩසටහන මගින් විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල පාසල් දූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල ලබා දීම සිදු කෙරුණු අතර මාතලේ දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරන අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ළමුන් 1200ක් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම එහිදී සිදු කෙරුණා.
‘ජයගමු ශ්‍රී ලංකා’ මාතලේ වැඩසටහනේ දින දෙකෙහිදිම විදෙස් රැකියා අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන විදේශ රැකියා නියෝජිත ආයතන 50කට අධික සංඛ්‍යාවක සේවයද වැඩසටහනට සහභාගි වූවන් සඳහා සැපයුණ අතර තරුණ ප්‍රජාව වෘත්තීමය වශයෙන් සවිබල ගැන්වෙන උපදෙස් ලබා දීම, ජනාධිපති අරමුදලේ අනුග්‍රහයෙන් සිදු වන දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණුව සඳහා ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කිරීමට අවකාශ සලසා දීම සිදු වුණා.
දේශීයව මෙන්ම විදේශ රැකියා අවස්ථාවලදීද වන ප්‍රධාන අසමත්කමක් වන මූල්‍යමය අසමත්කම මැඩලීමට ලබා දෙන සහාය පිළිබඳව මේ වන විට බෙහෙවින් ප්‍රශංසා ලැබුණා.
එම දිනයේ ‘ජයගමු ශ්‍රී ලංකා ස්මාට් යූත් ක්ලබ්’ තරුණ ප්‍රජාව දිරිගැන්වීමේ දේශනයේදී අමාත්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළේ ‘ඊශ්‍රායලයෙන් රස්සා මල්ලක් රැගෙන තමන් එන විට කයිවාරු රතු රැළිවල විදෙස් රැකියා දීම ගැන විවේචන සිදු වන බවත් තාරුණ්‍යය වළ පල්ලට රැගෙන යාමට එම පාර්ශ්ව කටයුතු කරන’ බවයි.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන සේවා පිළිබඳ දැනුවත් වීමේ වැඩසටහනක්, තරුණ තරුණියන්ට දස දහසකට ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන යටතේ වෘත්තීය පුහුණුව ලබා දීමට සැලසුම් කර තිබීමත්, විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර පිහිටුවීමට ‘ස්මාට් බෝඩ්’ ලබා දීමත් ප්‍රශංසාව හිමිවූ තවත් කටයුතු අතර පැවැත්වුණා.
විදේශ රැකියාවල නිරතවී මෙරටට පැමිණ සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වන 05 දෙනෙකු විශේෂ ඇගයීමකට ලක් කිරීම පිණිස එක් අයෙකුට රුපියල් 50,000 බැගින්වූ මුදල් තෑගි පිරිනැමීම, විගමණික ශ්‍රමිකයන් 11 දෙනෙකු හට මුදල් ආධාර ලබා දීම, විගමණික ශ්‍රමික පවුල්වල දරුවන්ට පාසල් උපකරණ ලබාදීම, එවැනි පවුල්වල 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් දරුවන් 70 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීමද සිදු කෙරුණු අතර මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 11ක් සඳහා සුහුරු පන්ති කාමර පිහිටුවීමට ස්මාට් බෝඩ් ලබාදීම සිදු වුණා.
විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අමාත්‍යාංශයේ ‘ගරුසරු’ වැඩසටහනට සමගාමීව අසංවිධිත වෘත්තීන්වල ජාතික මණ්ඩල පත්කිරීම, කම්කරු දෙපාර්තමේන්තු නීති වෙනස් කිරීම හා මිනිස් වෙළඳාම යනාදී කාරණා පිළිබඳව දැනුවත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, බලපත්‍රලාභී රැකියා ඒජන්සි සමග සම්බන්ධ වීමේ අවස්ථා ලබාදීමද මෙම දෙදින තුළදී පැවැත්වුණා.
අනුරාධපුරයෙන් ආරම්භ කර අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේට ආ ‘ජයගමු ශ්‍රී ලංකා’ සාර්ථක වැඩසටහන්වල මීළඟ එළඹුම වන්නේ වව්නියාවයි.
මාර්තු 29 සහ 30 වව්නියාව ගාමිණී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ රට පුරා යන ජංගම වැඩසටහන සඳහා දෙස් විදෙස් රැකියා අපේක්ෂිත පුරවැසියන් වෙත විවෘත ආරාධනයක් කම්කරු හා විදේශ අමාත්‍යාංශයෙන් සිදු කරනු ලබනවා.