ගාසා තීරයේදී පැය 10ක දරුණු ගැටුමකින් හමාස් බළකොටුවක් ඊශ්‍රායලය අත්පත් කර ගනී

ගාසා තීරයේ ප්‍රධාන නගරයේදී පැය 10ක දරුණු ගැටුමකින් පසු හමාස් සංවිධානයේ බළකොටුවක් අත්පත් කරගැනීමට හැකිවූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ නහාල් පාබළ බළසේනාවේ භට පිරිස් ගාසා තීරයේ බටහිර ජබේලියා ප්‍රදේශයේ පිහිටි 17 නමැති මුරපොළ හමාස් සංවිධානයේ බළකොටුව අත්පත් කර ගත් බවයි.
එම බලකොටුව උමං මාර්ගයක පිහිටි විශාල බළකොටුවක් බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.
මෙම සටනේදී හමාස් සාමාජිකයන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇති අතර එම බළකොටුවේ ආයුධ විශාල තොගයක් තිබූ බවත් සඳහන්වනවා.
එමෙන්ම හමාස් සංවිධානයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව සලසා ගැනීමට ගාසා තීරයේ සිවිල් ජනතාවට තවදුරටත් දකුණු පළාතට යෑමට ඊශ්‍රායල හමුදාව අවසරදී ඇති අතර, පෙරේදා දිනයේ පමණක් පනස්දහසකට අධික සිවිල් වැසියන් පිරිසක් දකුණු පළාතට ගිය බවයි වාර්තාවන්නේ.
මේ අතර ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ බෝම්බ හෙළීම මැදපෙරදිග විශාල යුද්ධයක් ඇතිවිමේ අවදානමක් මතු කර ඇති බව හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ශේක් නයිම් කාසිම් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානයේ ආධාර ලබන බව කියන ලෙබනනයේ බලවත් මිලිටරි සංවිධානයක් වන හිස්බුල්ලා සංවිධානයද මේවන විට ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
ගාසා තීරයේ පවතින තත්ත්වය නිසා අරාබි කලාපයේ ඉතා බරපතළ සහ භයානක යුද වාතාවරණයක් වර්ධනය වනු ඇති බවත් එහි ප්‍රතිවිපාක නතර කිරීමට කිසිවකුට නොහැකිවනු ඇති බවත් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා සඳහන් කර තිබෙනවා.