Uncategorized

රථ වාහන වැරදි පොලීසිය විසින්  වීඩියෝ කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නවා- පොලිස්පති

රථවාහන වැරදි සිදු කරන පුද්ගලයන්ගේ ක්‍රියාවන් පොලිසිය විසින් වීඩියෝගත කර මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්බන්ධව පවතින ගැටලු  විසඳීමට පියවර ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසනවා.

පොලිස්පතිවරයා මේ බව දැනුම් දුන්නේ පසුගියදා පැවැත්වුණු මහජන ආරක්ෂාව පිළිබඳ උපදේශන කාරක සභාවට කරුණු ඉදිරිපත් කරමින්.

රථවාහන පොලිසිය විසින් රථවාහන නීති කඩ කරන පුද්ගලයන්ගේ වැරදි පටිගත කොට එම වීඩියෝ මාධ්‍ය වෙත මුදා හැරීමේ සදාචාරාත්මකභාවය පිළිබඳව මෙම කමිටුවවේ අවධානය යොමුව තිබුණා.

මෙම කමිටුවේ අදහස වී ඇත්තේ ඕනෑම වැරදිකරුවෙකුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බවයි.

තවද, මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ත්‍යාග සහ ඇගයීම් පිළිබඳවද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුව මෙහිදී  විමසා තිබුණා.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේ එලෙස ත්‍යාග ලබාදීම සඳහා දැනටමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අතර එවැනි වැටලීම්වලට අදාළ කරුණු සලකා බැලීමේදී අදාළ නිලධාරීන්ට නියමිත ඇගයීම් සිදු කරන බවයි.

මේ අතර, ඉමදූව පොලිස් ස්ථානය භාර නිලධාරීන් සඳහා වෙන් කර ඇති නිවස ප්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් ද මෙම කමිටුවේ අවධානය යොමුව තිබුණා.

එම නිවස ප්‍රයෝජනයට ගැනීමට කටයුතු යොදා ඇති බවයි  එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ.

මත්ද්‍රව්‍ය භාවිතය, බෙදාහැරීම සහ බිම් මට්ටමේ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ පිළිබඳවද කමිටුව පොලීසියෙන් විමසා තිබුණා.

එහිදී ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පවසා සිටියේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධ වරදක් සම්බන්ධව පොලිසියට  තොරතුරු ලැබුණු විට , එම මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයන් නීතිවිරෝධී ද්‍රව්‍ය සන්තකයේ  තබා ගැනීම යන වරද යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි.

එමෙන්ම පොලීසිය විසින් දැනට  නීති විරෝධී භාණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙන්ම මුදල් විශුද්ධිකරණය  සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂණ පවත්වන බවද එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා .  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button