දේශීය

අදත් පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්,පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ලවී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වාර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

එම දිස්ත්‍රික්කවල පවුල් 11,992කට අයත් පුද්ගලයින් 47,963ක් පීඩාවට පත්ව සිටින අතර පවුල් 220කට අයත් පුද්ගලයින් 930 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 10ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

මේ අතර දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මෙම නායයෑම් අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ, කොළඹ ගාල්ල, හම්බන්තොට, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවන   බවට සදහන්වනවා.

 

තවද පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ මාතර දිස්ත්‍රික්කයේ සියලු රජයේ පාසල් වසා තැබෙන බව මාතර දිස්ත්‍රික් ලේකම්  වික්‍රමසිරි මහතා පවසනවා.

 

නිවාඩු දින දෙකට අදාළව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button