දේශීය

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (04)  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී 30-40ක් පමණ වෙනවා.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වාත්, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට රළු විය හැකි බවත්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි.

කෙසේ වෙතත්, අද (04) දින දහවල් 12:09ට කොච්චිකඩේ, මාවනැල්ල, පේරාදෙණිය, බදුල්ල දිස්ත්‍රික්කයේ ගලහිටියාව, මොනරාගල දිස්ත්‍රික්කයේ දානිගල සහ අම්පාර දිස්ත්‍රික්කයේ පරගහකැලේ, යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතියි.

මේ අතර,ඇද හැලෙන අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3ක පවුල් 28ක පුද්ගලයින් 98 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එයින් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයටයි.

එම දිස්ත්‍රික්කයේ පවුල් 15 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාව පත්ව සිටින බවත්,  අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 26ක් බවත්, එම මධ්‍යස්ථානය පවසනවා.

මීට අමතරව, ජා-ඇල ශාන්ත මරියා දේවස්ථානය පිටුපස රථගාලට ගසක් කඩා වැටීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ 3කට හානි වී ඇති බවට ඊයේ (03) වාර්තා වුණා.

ගස කඩා වැටීමෙන් මෝටර් රථ දෙකකට දැඩි ලෙස හානි වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button