Uncategorizedදේශීය

දිස්ත්‍රික්ක 09ක උණුසුම තවදුරටත් ඉහළට

දිවයිනේ දිස්ත්‍රික්ක 09ක උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක අද (28) දිනයේ  පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අද දිනයේ සෙල්සියස් අංශක 39ත් 45ත් අතර වනු ඇති බව යි.

මේ අතර අද සිට සැප්තැම්බර් 07 දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ හෙට මධ්‍යහ්න 12.11 ට පමණ යාපනය දිස්ත්‍රික්කයේ කෝවිලන් පොයින්ට් සහ මල්ලාකම් නගරවලට මෙලෙස ඉර මුදුන් වීමට නියමිත බවයි.

මේ අතර, අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, පවතින නියඟය හේතුවෙන් දිවයිනේ වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිඳී ගොස් ඇති අතර ප්‍රධාන ජලාශ සියල්ලේම ජල මට්ටම 35%-40% කින් පමණ අඩු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලැබී ඇති ප්‍රතිපාදන අනුව මෝසම් වර්ෂාවට පෙර හානියට පත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

තවද,දැනට ක්‍රියාත්මක එල්නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි කන්නයේ දී හොඳ වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි උපකල්පනය කරන අතර ඉන් පසුව එන මීළඟ කන්නය නැවතත් වියළි කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෝසමට පෙර මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් වැඩි ජල ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට හැකි වන අතර  එමඟින් ගොවි ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button