දේශීය

ඩයනා මන්ත්‍රීවරියට දකුණු අප්‍රිකානු සංගමයක සභාපතිධූරයක්

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (29) තේරි පත්විය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද් කුමාර්, වීරසුමන වීරසිංහ සහ මර්ජාන් ෆලීල් යන මහත්වරුද තේරි පත්විය. මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාද , උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුෂාරෆ් මහතාද තේරී පත්විය.

රැස්වීම අමතමින් ගරු කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දශක ගණනාවක සිට පැවතෙන ද්වීපාර්ශවීය සබදතා මෙම සංගමය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. එසේම දකුණු අප්‍රිකානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළද සහකරු වන දකුණු අප්‍රිකාව සමග නිදහස් වෙළද ගිවිසුමකට එළඹීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ද ගරු කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා අභිනව නිලධාරී මඩුල්ලට සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර සිටියේ සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ අන්තර් සහයෝගීතාව ශක්තිමත් වනු ඇති බවයි.

වර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය පිළිබඳවද මෙහිදී මහකොමසාරිස්වරයා අදහස් දැක්වීය. මෙම වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල් වුවද එහි ප්‍රභවය දකුණු අප්‍රිකාව නොවන බවත් ඒ පිළිබඳව පැතිරෙන මතය සාවද්‍ය බවත් මහකොමසාරිස්වරයා පැවසීය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවී අන්‍යෝන්‍ය සහයෝගීත්වය වර්ධනය තුළින් ව්‍යවස්ථාදායක ද්විත්වය අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.

අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button