රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල් කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
මේ සම්බන්දයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී සිදුවනු ඇති බවයි.
මේ අතර ලංකා හොස්පිටල්ස් පීඑල්සී විසින් ද මේ බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළා.
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින අතර ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.