නිවුන් දරුවන් විකිණීමේ සිද්ධියට අදාළ මව ඇතුළු කාන්තාවන් තිදෙනාට ඇප

දින 7ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක් රුපියල් 50,000කට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ දරුවන්ගේ මව ඇතුළු කාන්තාවන් තිදෙනාව ඇප මත නිදහස් කර තිබෙනවා.
එහිදී වාර්තාවන්නේ, ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින්වූ ඇප මත නිදහස් කළ බවයි.
මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අතර එහිදී එම නිවුන් දරුවන්ගේ මව පවසා ඇත්තේ තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බවයි.
ඒ අනුව එම දරුවන් දෙදෙනාව පරිවාස භාරයට පත්කර තිබෙනවා.
නඩුව ජනවාරි 12 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
එම නිවුන් දරුවන් දෙදෙනාව මිලදීගත් සැකකාරියන් දෙදෙනා ඊයේ (07), අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එම එක් බිළිඳකු විකුණා ඇත්තේ රුපියල් 25,000ක මුදලකටයි.
සිද්ධියට සම්බන්ධයෙන් 29 හැවිරිදි මව සහ සෙසු කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණේ පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුවයි.
රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිර්නාමිකව ලැබුණු තොරතුරක් අනුව එලෙස රාගම නාරංගොඩපාලුව විහාර මාවතේ නිවසක් සෝදිසි කිරීමේදී අලුත උපන් බිළිඳෙකු සොයාගෙන තිබුණා.
ඒ අනුව පොලීසිය හෙළි කරගෙන තිබුණේ, එම නිවසේ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් මත මෙම බිළිඳා අතිදැඩි කිරීම සඳහා බිළිඳාගේ මවගෙන් නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් බවයි.
මෙම දරුවාගේ අනෙක් නිවුන් සහෝදරයා පොළොන්නරුවේ පදිංචි තවත් කාන්තාවකට රුපියල් 25,000ක මුදලකට විකුණා ඇති බව වැඩිදුර සිදුකළ විමර්ශනයේදී හෙළිවී තිබෙනවා.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳුන්ගේ මව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර ඇති බවද වාර්තාවනවා.