මඩකලපුව අධිකරණ පරිශ්‍රයේ විශේෂ පරීක්ෂාවක්

මඩකලපුව අධිකරණ සංකීර්ණය ඉලක්ක කරගනිමින් යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලියාපදිංචි තැපෑලෙන් යොමුකර තිබූ ලිපි දෙකක් පදනම් කරගනිමින්, මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (25) පෙරවරුවේ එම පරිශ්‍රය විශේෂ සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා.
කිසියම් පාර්ශ්වයක් අදාළ ලිපි මගින් ඔක්තෝබර් මස 24, 25 හෝ 28 යන දින තුනෙන් එකකදී මඩකලපුව අධිකරණ සංකීර්ණයට යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දැනුම්දීමක් කර තිබෙනවා.
එම ලිපි මඩකලපුව නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ මඩකලපුව මහේස්ත්‍රාත්වරියට යොමුකර ඇති බවටයි වාර්තා වුණේ.
ඒ අනුව මඩකලපුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද උදෑසන එම පරිශ්‍රය සෝදිසි කිරීමට පියවර ගත්තා.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ පරිශ්‍රයේ තිබී සැකකටයුතු කිසිවක් හමුව නොමැති බවයි.
අදාළ ලිපි මඩකලපුව තැපැල් කාර්යාලයෙන් ලියාපදිංචි තැපෑලට යොමු කර තිබූ ඒවා බවත්, ලිපි එවූ පාර්ශ්වය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය පවසනවා.
මඩකලපුව අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව තර කර තිබෙන අතර, සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.