දේශීය

පාසල් දරුවන් යොදාගෙන මවුපියන්ගෙන් මුදල් ගරන ජාවාරමක් රට පුරා

පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුරවී රෝහල් ගත කිරීමට සිදුවූ බව පවසමින් පාසලෙන් මවුපියන්ට දුරකතනයෙන් කතා කර මුදල් වංචා කිරීමේ සහ නිවෙස් බිඳ සොරකම් කිරීමේ කල්ලියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ, මේවන විට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් මෙවැනි සිද්ධීන් වාර්තාවී තිබෙන අතර කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසල් කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තාවී ඇති බවයි.

මීට පෙර කොළඹ නගරයේ ප්‍රධාන පාසලක දරුවකුගේ පියකුට පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කතා කර දරුවා හදිසියේ අසනිපවී නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ බවත්, හදිසි ශෛල්‍යකර්මයක් සඳහා මුදල් අවශ්‍ය බවත් දන්වා තිබෙනවා.

අදාළ දරුවාගේ පියා නීතිඥවරයකුවන අතර ඔහු මේ සම්බන්ධයෙන් පළමුව පාසලෙන් විමසා සිටි අවස්ථාවේ එවැන්නක් සිදුව නොමැති බව දැනගන්නට ලැබී තිබුණා.

ඒ අනුව ඔහු පොලිසියට පැමිණිල්ලක් දැමීමට පියවර ගෙන තිබෙන බව සඳහන්වනවා.

මේ අතර පසුගිය 8 වැනි දින කුරුණෑගල නගරයේ ප්‍රධාන බාලිකා විදුහලක ඉගෙනුම ලබන සහෝදරියන් දෙදෙනකුගෙන් එක් අයකු පාසල් නොපැමිණි අතර අනෙක් සහෝදරිය පාසල් ගොස් තිබෙනවා.

ඔවුන්ගේ පියා කුරුණෑගල බැංකුවක සේවය කරන අතර නිවසේ සිටි දියණිය ඔහුට ඇමතුමක් ගෙන කියා තිබුණේ පාසල් ගිය තම නැඟණිය හදිසියේම රෝගාතුරව සිටින බවට පාසලේ ගුරුවරයකු විසින් දුරකතනයෙන් දැනුම් දුන් බවයි.

එහිදී පියා පණිවිඩය දැනුම් දුන් දුරකතනයට ඇමතුමක් ලබා ගත් විට ඊට පිළිතුරු දුන් ගුරුවරයා යැයි හඳුන්වා දුන් තැනැත්තා පවසා තිබුණේ ඔහුගේ දියණිය ඒ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මහනුවර මහ රෝහලට ගිලන් රථයකින් රැගෙන යමින් සිටින බවයි.

ඒ සම්බන්ධයෙන් පාසලෙන් කිසිදු විමසීමක් කර නැති පියා තම බිරියද සමඟ කාර්යාල වෑන් රථයෙන් ඉක්මණින්ම මහනුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අතර එම බැංකුවේම සේවය කළ ඔවුන්ගේ සමීපතම හිතවතකු මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකයක් ඇති කරගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට කතා කොට විමසා ඇත්තේ මෙවන් ගැහැනු දරුවකු රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්ද, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේද යන්නයි.

එවිට රෝහලෙන් ලබාදී තිබූ පිළිතුර වූයේ එවන් දරුවකු නගරයේ කිසිදු පාසලකින් රෝහලට ඇතුළත් කර නැති බවයි.

මෙම තොරතුරු දැනගත් මිතුරා අදාළ බාලිකා පාසලෙන් දරුවකු පාසලේ සිටීද නැත්නම් රෝහල්ගත කර ඇත්ද යන්න විමසන විට එම දරුවා කිසිදු ගැටලුවකින් තොරව මේවන විට පාසලේ පන්ති කාමරය තුළ ඉගෙනුම් කටයුතු කරමින් සිටින බවට එවිට පාසලෙන් පිළිතුරුදී තිබෙනවා.

මේ හා සමානම සිද්ධීන් මේවනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසකින් සිදුවී ඇති බවයි වාර්තාවන්නේ.

මෙම වංචාකාරි කල්ලිය ලබා දෙන දුරකථන පණිවිඩවලට රැවටී කලබලයට පත්ව තොරතුරු සොයා නොබලා මුදල් ලබාදී ඇති පුද්ගලයන් සිටින බවද තවත් අය දරුවන් පිළිබඳ සොයා බැලීම සඳහා පාසල් කරා ගිය අවස්ථාවේදී ඔවුන්ගේ නිවෙස් බිඳ සොරකම් කළ අවස්ථාද වාර්තාවී තිබෙනවා.

ඒ අනුව පොලීසිය මහජනතාවට දැනුම්දී ඇත්ත්‍රි, පාසල් ගිය දරුවා රිය අනතුරකට, හදිසි අනතුරකට, හදිසි රෝගී තත්ත්වයකට පත්වූ බව පවසමින් මෙම කල්ලිය දුරකතන ඇමැතුම් ලබා දෙන බැවින් දැඩි කල්පනාවෙන් පසුවන ලෙසද එවැනි දුරකතන ඇමතුම් ලැබුණහොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button