දේශීය

සෞඛ්‍ය ඇමති කෙහෙලියට එරෙහිව නාවලපිටියෙන් අත්සන් දස දහසක පෙත්සමක්

සමඟි ජන බලවේගය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම පිණිස අත්සන් දස දහසක් ලබා ගැනිමේ වැඩසටහනක් ඊයේ (13) නාවලපිටිය දිස්ත්‍රික් මුලික රෝහල ඉදිරිපිටදී පැවැත්වුණා.

සමඟි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම අත්සන් ලබා ගැනිමේ වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඔහු එහිදී පැවසූවේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර එන්නත් සහ ඖෂධ නිකුත් කිරීම නිසා රටේ ජනතාවගේ ජිවිතවලට අවධානමක් මතු වී ඇති බවයි.

එමෙන්ම රෝහල්වලට අවශ්‍ය උපකරණ ලබා නොදීම, ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරිම ආදී කරුණු නිසා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටිමේ අවධානමකට ලක් ව ඇති බවද ඔහු පවසා සිටියා.

අත්සන් ලබා ගැනිමේ වැඩසටහනට නාවලපිටිය ප්‍රදේශයේ ජනතාවගේ පුර්ණ සහය ලැබී ඇති බවත් එම අත්සන් සහිතව අදාළ පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගනු ලබන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දුර්වලතා හේතුවෙන් ජීවිත ගණනාවක් බිලිගෙන ඇති බැවින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 221 දෙනාගෙම සහයෝගය හිමි විය යුතු බව, සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා ප්‍රකාශ කළා.

වේලුකුමාර් මහතා මේ බව පැවසූවේ ඊයේ (13) නුවරඑළියේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ වේලුකුමාර් මහතා,

“රට තුල උග්‍ර සෞඛ්‍ය ගැටලු රාශියක් මතුවෙලා තියෙන්නේ. ඊට මූලිකම හේතුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දුර්වලතාවය නිසා රෝහලකට ප්‍රතිකාර ලබන්න යනකොටම මල් ශාලාවට පණිවිඩයක් දීලා යන්න වෙන තත්වයක් උදා වෙලා තියෙන්නේ,ඇති වූ කිසිම සංකූලතා තත්වයකට අද වෙනකම් පිළිතුරු නැහැ මේකට වගකිව යුත්තේ කවුරුන් ද කියලා කවුරුත්ම දන්නේ නැහැ. අපි මේ හැම දේකටම පිළිතුරු හොයන්න ඕන , ඒ වෙනුවෙන් කැපවීම් කරන්න ඕන, ඒවා ඔක්කොම අමතක කරලා අපිට බැහැ රට වටේ ඇවිද ඇවිද ක්‍රිකට් ගගා ජොලි කරලා විනෝද වෙන්න. මොකද මේක රටේම තියෙන ප්‍රශ්නයක්, හැම ඇමැතිවරයෙක්ම නියෝජනය කරන්නේ මහජනතාව නිසා මහජනතාවට මුහුණ දීමට සිදු වෙලා තියෙන මේ බරපතළ ගැටලුවට විසඳුම් සොයන්න පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button