දේශීය

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ගැන ජනපතිගෙන් ඉඟියක්

කොළඹ නගරයේ ඇති වටිනා ඉඩම් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් වන ව්‍යාපෘති සඳහා ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අඩු හා මධ්‍ය ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති නගරයෙන් පිටත ඉදිකර නගරයේ වටිනා ඉඩම් ආයෝජන සඳහා ලබාදෙන්නේ නම්, එමඟින් මෙරට ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැකි බවයි.

අද (05) පෙරවරුවේ  පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

“ඒ වගේම කොළඹ නගරයේ ඇති වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එම ස්ථානය වාණිජ අවස්ථාවක් සඳහා ලබා දුනහොත් මෙරට ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභය පිළිබඳ ඔබ සිතා බලන්න. එතැන් සිට දුම්රිය මාර්ගය දක්වා තිබෙන ඉඩම විශාල ආයෝජනයක් සඳහා යෙදවිය හැකියි. එය ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජුව බලපාන ව්‍යාපෘතියක් වනු ඇති බව අපේ විශ්වාසයයි.”

“කොළඹ නගරය ඉතා සුන්දර නගරයක් බවට පත් කිරීමට ඔබට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම මේ වන විටත් අප ඉදිරිපත් කර තිබෙනවා. ත්‍රිකුණාමලය මඩකලපුව වේරුගල්ආරු දක්වා සංචාරක පුරයක් ඇති කිරීමට ඒ තුළින් බලාපොරොත්තු වෙනවා. එහි නිර්මාණ සැලසුම් සඳහා ඔබටත් දායක විය හැකියි. එසේම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමට ද ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා.”

“විධිමත් නගර සැලසුම් ව්‍යාපෘති ඔස්සේ සෑම නගරයක්ම අලංකාරවත් නගර බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා නව පනතක් ගෙන ඒමට ද ඉදිරියේ දී කටයුතු කරනවා. එම නගර සංවර්ධන කටයුතු සඳහා අවම වශයෙන් ඉංජිනේරුවන් 10,000ක ප්‍රමාණයක් අපට අවශ්‍යයි. එසේම ගෘහ නිර්මාණ ශිල්පීන් වගේම තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අවශ්‍යයි.”

“ඉදිරියේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා රට තුළ මෙන්ම රටින් පිටත හොඳ අවස්ථා නිර්මාණය වී තිබෙනවා. ඉන්දියාවේ ඒ සඳහා පුළුල් අවස්ථාවන් පවතින අතර දැනටමත් ඒ වෙනුවෙන් ආරාධනා ලැබී තිබෙනවා. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්පීන් සහ වාස්තු විද්‍යඥයින් තම දියුණුව වෙනුවෙන් මෙම අවස්ථා භාවිතා කළ යුතු අතර හොඳ නාමයක් ද ගොඩනඟා ගත යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button