දේශීය

කථානායක​ගේ විශ්වාසභංග විවාද දින​ය ගැන තීරණයක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා​ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය තීරණය කෙරෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී අද (14) පැවැත්වීමට නියමිතයි.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදීම (19) යෝජනාව විවාදයට ගන්නා ලෙස මෙම කාරක සභාවේදී ඉල්ලා සිටීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය 5 වැනිදා භාරදෙනු ලැබුවා.

ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂවල මන්ත්‍රිවරු 44 දෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පටහැනිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ආණ්ඩු පක්ෂයට ඉඩ ලබා දීමෙන්ද පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ව්‍යවස්ථා විරෝධී ලෙසත් නීති විරෝධී ලෙසත් ජනාධිපතිවරයාට සහයවීමෙන්ද පාර්ලිමේන්තුව කතානායකවරයා කෙරෙහි තවදුරටත් විශ්වාසයක් නොමැති බවට යෝජනා කරන බව එම විශ්වාසභංග යෝජනාවේ සඳහන්.

එමෙන්ම එහිදී සඳහන්වන්නේ, පාර්ලිමේන්තු කටයුතුවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් කටයුතු කර තිබෙන අතර පාර්ලිමේන්තුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යන උත්තරීතර ආයතන පිළිබඳ මහජන විශ්වාසය කඩ වන ලෙස කටයුතු කර ඇති බව​ත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමෙ​න් කතානායකවරයා කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි.

තවද පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පැහැදිලිවම ප්‍රදර්ශනය කරමින් එම ධුරයේ ස්වාධීනත්වය හා ගෞරවය කෙලෙසා ඇති බවටත් අපක්ෂපාතීව පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කිරීමට බැඳී සිටින කතානායකවරයා විසින්ම එම වරප්‍රසාද කඩකර ඇති බවටත් චෝදනා කරන විපක්ෂය එම ධුරයේ කාර්යයන් හා වගකීම ඉටුකිරීම පැහැර හැර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button